ජනකලා කේන්ද්‍රය
ජනකලා කේන්ද්‍රය 1988 වර්ෂයේ ආරම්භ කරන ලදුව මේ වනවිට වෘත්තීය හා සෞන්දර්යය පාඨමාලා 15ක් පවත්වනු ලබන ස්ථානයකි. මෙය ශ්‍රී ලංකාවේ පාරම්පරික කලාවන් සුරැකීම, වර්ධනය කිරීම හා නඟා සිටුවීමේ අරමුණින් ආරම්භ කර ඇත. කොහු භාණ්ඩ, සම් භාණ්ඩ, මැටි භාණ්ඩ, වෙස් මුහුණු කර්මාන්තය, බීරළු රේන්ද කර්මාන්තය හස්ත කර්මාන්ත මණ්ඩලයේ අනුග්‍රහයෙන්, එම ආයතනයේම උපදේශකවරුන් මාර්ගයෙන් ජනකලා කේන්ද්‍රයේදී පවත්වනු ලැබේ. මෙම පාඨමාලා හදාරා නිමවන සිසුන් සඳහා ස්වයං රැකියාවක් කර ගැනීම පිණිස අවශ්‍ය සහය ලබා දීම ජනකලා කේන්ද්‍රය හා ජාතික ශිල්ප සභාව සම්බන්ධිතව ඉටු කරනු ඇත. ආයතන භූමිය තුළ දේශීය ඔසු වර්ග ආරක්ෂා කිරීම පිණිස පවත්වාගෙන යනු ලබන ඔසු උයන ජනකලා කේන්ද්‍රයට වඩාත් දේශීයත්වයක් ලබා දීමට ඉවහල්වේ. මෙම ආයතනය තුළ නේවාසික පහසුකම් ලබා ගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබා ගත හැකිය. මෙහි අධ්‍යාපනය ලබන සිසුන්ගේ විනය සහ ආගමික හැදියාව වර්ධනය කරමින් හොඳ පුරවැසියන් ලෙස සමාජයට පිවීසීම සඳහා අවශ්‍ය පසුබිම සැලැස්වීම ආයතනයේ අපේක්ෂාවය.
දර්ශනය
පරිසර හිතකාමි වටපිටාවක් තුළ ශ්‍රී ලංකාවේ ජනකලාවන් හා පාරම්පරික ශිල්ප ක්‍රම ආරක්ෂා කරමින් ඒවා අනාගත පරපුරට දයාද කිරීම.
මෙහෙවර
ශ්‍රී ලංකාවේ ජනකලාවන් සුරක්ෂිත කිරීම, පාරම්පරික ශිල්ප ක්‍රම සහ පාරම්පරික ශිල්පීන් ආරක්ෂා කිරීම පිණිස එම ශිල්ප ඥානය තරුණ පරපුර වෙත රැගෙන යාම හා අනාගතය සඳහා ශිල්පීන් බිහිකරලීම පිණිස දැනුම හා ඊට අදාල පරිසරය ගොඩනගාලීම.
අරමුණු
1. ශ්‍රී ලංකාවේ ජනකලාවන් පිළිබඳව මහජනතාව තුළ වඩාත් හොඳ දැනුමක් ඇති කරලීම පිණිස තරුණ පරපුර වෙත කලා රසිකත්වය හා දැනුම රැගෙන යෑම.
2. පාරම්පරික ශිල්ප ක්‍රම හඳුන්වා දීම තුළින් හොඳ ජීවන තත්වයක් ඇති කරලීම පිණිස සහාය ලබා දීම.
3. සාම්ප්‍රදායික කැටයම් නිර්මාණ හස්ත කර්මාන්ත පිළිබඳ ඉදිරි පරපුරට අවශ්‍ය උනන්දුව හා ශිල්ප ඥානය ලබා දීම සඳහා සහාය වීම.
4. සෞන්දර්යය රසාස්වාදය හා පරිසරය විඳ ගැනීම පිණිස තරුණ පිරිසට මඟ පෙන්වීම.
5. අභාවයට යමින් පවත්නා වූ පාරම්පරික ශිල්ප ක්‍රම ආරක්ෂා කරලීම පිණිස අවශ්‍ය ශිල්ප ඥානය නව පරපුර වෙත රැගෙන යාම.
ක්‍රියාකාරකම්
ජනකලා කේන්ද්‍රය තුළ පූර්ණ කාලීන සෞන්දර්යය පාඨමාලා 3ක් සහ වෘත්තීය පාඨමාලා 9 ක් ක්‍රියාත්මකවේ. මීට අමතරව සති අන්ත සෞන්දර්යය පාඨමාලා ද පැවැත්වේ.
ජනකලා කේන්ද්‍රය තුළ පවත්වනු ලබන පාඨමාලා
ජනකලා කේන්ද්‍රය මගින් පූර්ණ කාලීන පාඨමාලා 12 ක් සහ සති අන්ත පාඨමාලා 3ක් පැවැත්වේ. සති අන්ත පාඨමාලා සඳහා මුදල් අයකිරීමක් නොකෙරේ.
වෘත්තීය පාඨමාලා
1. ලී කැටයම්/ පසාරු කැටයම්/ මූර්ති හා වෙස් මුහුණු කර්මාන්තය - පූර්ණ කාලීන මාස 06
2. පොල්කටු ආශ්‍රිත විසිතුරු නිර්මාණ සැකසීම සහ ලාක්ෂා කර්මාන්තය - පූර්ණ කාලීන මාස 03
3. මැණික් කැපීම, ඔප දැමීම, මැණික් වර්ග හඳුනා ගැනීම හා තක්සේරුව පිළිබඳ පාඨමාලාව - පූර්ණ කාලීන මාස 06
4. සෙරමික් කලාත්මක භාණ්ඩ හා විසිතුරු රතු මැටි භාණ්ඩ නිෂ්පාදනය - පූර්ණ කාලීන මාස 06
5. සම් ආශ්‍රිත පාවහන්,බෑග්, බිත්ති සැරසිලි හා වෙනත් නිර්මාණ - පූර්ණ කාලීන මාස 03
6. පොල් කෙඳි ආශ්‍රිත පාපිසි, බිත්ති සැරසිලි නිර්මාණ - පූර්ණ කාලීන මාස 03
7. බීරළු රේන්ද හා එම්බ්‍රොයිඩර් පාඨමාලාව - පූර්ණ කාලීන මාස 06
8. අත්යන්ත්‍ර රෙදිපිළි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පුහුණුව - පූර්ණ කාලීන අවුරුදු 01
9. බතික් පුහුණු පාඨමාලාව - පූර්ණ කාලීන මාස 06
සෞන්දර්ය පාඨමාලා
1. නර්තනය උඩරට/පහතරට/සබරගමු - පූර්ණ කාලීන අවු. 01
2. සංගීතය ගායනය / වාදනය - පූර්ණ කාලීන අවු. 01
3. චිත්‍ර හා මූර්ති - පූර්ණ කාලීන අවු. 01
සති අන්ත පාඨමාලා
1. බතික් කර්මාන්තය
2. නර්තනය උඩරට - සෙනසුරාදා පෙරවරු
3. සංගීතය ගායනය හා වාදනය - ,,
සෞන්දර්යය පාඨමාලා සඳහා අ.පො.ස. උසස් පෙළ සමත් වයස අවු. 17 – 30 ත් අතර තරුණ තරුණියන්ද වෘත්තීය පාඨමාලා සඳහා දහය වසර සමත් වූවන්ද බඳවා ගනු ලැබේ.
තරුණ පරපුර සඳහා පාරම්පරික ශිල්ප ක්‍රම හදුන්වා දීම සහ වෘත්තීය පාඨමාලා මගින් ස්වයං රැකියා සඳහා දැනුම ලබා දීම තුළින් අනාගතයේ හොඳ පුරවැසියන් බිහි කිරීම මුඛ්‍ය පරමාර්ථය වේ.
ජනකලා කේන්ද්‍රය නව රඟහල
නවීන ශබ්ද පහසුකම් සහිතව 700ක් සඳහා ආසන පහසුකම් ලබා දිය හැකි රංග ශාලාවක් ආරම්භ කර ඇති අතර නාට්‍ය දර්ශන නර්තන, සංගීත ප්‍රසංග, රජයේ හා පෞද්ගලික අංශයේ වැඩමුලු පැවැත්වීමේ අවස්ථාව සලසා ඇත. අවශ්‍ය පමණ වාහන නැවැත්වීමේ පහසුකම් සහිත රංග ශාලාව බාහිර අය සඳහා වෙන්කර ගැනීමේ හැකියාව ඇත.
ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය තුළ ජාතික ශිල්ප සභාව මෙහෙයවන ශිල්ප ගම්මානය, ලක්සල අලෙවි මධ්‍යස්ථානය හා හස්ත කර්මාන්ත මිලදී ගැනීමේ සහ ඒවා නිෂ්පාදනය කිරීම, පුහුණුව ලැබීම පිළිබඳව දැක බලා ගැනීම පිණිස පහසුකම් සලස්වා ඇත. හස්ත කර්මාන්ත නිෂ්පාදන මිලදීගැනීම පිණිස අලෙවි මධ්‍යස්ථානයක් ලෙසද ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය ක්‍රියාත්මක වේ.